අද මැයි මාසේ 22 වෙනිදා. අද මට ලියන්න හිතුණේ පොතක් ගැන. පරිවර්තනයක්. පොතේ අයිතිකාරිය නිරෝමි ද සොයිසා. පොතේ ලියවිලා තියෙන්නේ ඇයගේ කතාව. "Tamil Tigress". - පාපොච්චාරණයක් විදිහ ට ලියවුණු මේ කතාව පරිවර්තනය කරන්නේ සුනිලා විජේසිංහ ලේඛිකාව. කතාවේ තේමා පාඨය විදිහ ට "ශ්‍රී ලංකාවේ ලේ පිපාසිත කුරිරු සිවිල් යුද්ධයේ ළමා සොල්දාදුවෙකු වූ මගේ සත්‍ය කතාවයි" කියලා සඳහන් වෙනවා.
නිරෝමි ඔබටත් පරිවර්තනය කරපු සුනිලාටත් බොහෝම පිං. එක් ළමා සොල්දාදුවෙකු ගේ හරි ජීවිත කතාවක් අප ට මවාගන්න ඉඩ ලබා දුන්නා ට. ඒත් නිරෝමි මට අහන්න ප්‍රශ්න තියනවා.
ඔයා මධ්‍යම පාන්තික පවුලකින් පැවත එන දරුවෙක් විදිහටයි යුද පිටිය ට එන්න තීරණය කරන්නේ. ස්ව කැමැත්තෙන්. ඉගෙන ගන්න තියන උනන්දුවත්, හැකියාවත් නිසා, ඒ වගේ ම ඒ ඒ අවස්ථාවන් ට හිසක් නොව මොළයක් ඇතිව විචාරශීලීව තීරණ ගත් නිසා අද ඔබ ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල ආචාර්යවරියක්.
ඒත් ඔයත් එක්ක හිටිය බහුතරය දුප්පත් අම්ම්ලා තාත්තලාගේ දරුවෝ. උන් යුද්ධෙ ට ආවේ කිසිම අවබෝධයක් නැතුව. කරන්නම දෙයක් නැති කම ට. නොදැනුවත්කම ට. ඔයා ට වගේ සාක්ෂරතාවක් උන් ට තිබුණේ නැහැ. ළමා සෙබළියන් ට වඩා ළමා සෙබළු අනන්තවත් යුද්දේ මුල් කාලෙදි පරවෙන්න ඇති. සමහර දරුවෝ උස් මහත් වෙලා සිංහලයන් ගැන උපන් වෛරයෙන් අදටත් ඉන්නවා ඇති. ඒ දරුවන් ට උතුරෙන් එපිට ලෝකයක් තිබ්බේ නෑ. දැකලා තිබ්බෙත් නෑ. කොළඹ ගැන. මේ රටින් එහා රටවල් ගැන ඔයා ට වගේ දැනුමක් උන් ට තිබ්බේ නැහැ. උන් හරි ම අසරණයි නේද නිරෝමි?
රොෂාන් නිසා ආදරය විඳින්නත් ඔයාට පුළුවන් වුණා. ආදර සම්බන්ධතා සංවිධානය ට පටහැනි ක්‍රියාවක් වුණත් කලින් කිව්වා වගේ ඔයා ට මොළයක් තියන නිසා ඔයාටයි රොෂාන්ටයි ඒ සම්බන්ධෙ ගෙනියන්න පුළුවන් වුණා. ඒත් අනිත් අය? මතක ද ශාන්තන් ව? නෝර ට ආදරය කරපු වරද ට වෙඩි උණ්ඩ දෙකකින් ඒ හිස් කබල දෙපළු වුණ. ඒ වෙලාවේ ඇහුණ නෝරාගේ විලාපය ඔයාට අමතක වෙන්නෙ කොහොමද නේද?
අවුරුද්දක් ඇතුළත කොටි සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකාවක් වෙන්න ඔයා ට පුළුවන් වුණා. ඒත් විඳපු දුක්.... සමාජය ට සිද්ධ වුණ අසාධාරණකම් ඇස් දෙකෙන් ම දැක්ක ඔයා සංවිධානෙන් ඉල්ලා අස් වෙන්න තීරණය කළා. එහෙම අස් වෙන්න ඔයා ට පුළුවන් වුණේ සෙංගමාලම් ඔයා ට දක්වපු කරුණාව නිසා නෙමෙයි කියා කියන්න බැහැ. ඒ නිසා තමයි.. ඒ නිසා තමයි ඔයා අද මේ තත්ත්වෙන් ඉන්නෙත්. ඒත් ඉල්ලා අස්වීමේ ලියුම ලියද්දි ඔයා ට පිටිපස්සෙන් හිටිය සහෝදරියක් කෑ ගැහුවා මතක ද?
"මටත් ගෙදර යන්ඩ ඕන" කියලා කෑ ගැහුවා. ඊට පස්සේ? ඊට පස්සේ එතන හිටිය හැම කෙල්ලෙක්ම ඉල්ලා අස්වීමේ ලියුම ඒවෙලාවෙම ලියන්න පටන් ගත්ත... ඒත්.. ඒ එක්කෙනෙක්ටවත් සෙංගමාලම් අවසර දුන්නද? නෑ නිරෝමි නෑ....
ඔය කවුරුත් සංවිධානෙ ට බැඳුණේ හිත ට එකඟව නෙමෙයි. ඔයත් බැඳුණේ අරමුණ හරි හැටි නොදැන. හිත ට එකඟව සංවිධානෙ ට බැඳුණ අකිලාත් කාලයක් යද්දි කියා ගන්න බැරි තරම් කලකිරීමකින් නේද හිටියේ? ඔයා ට සංවිධානෙන් එළිය ට එන්න පුළුවන් වුණා. ඒත් දෙයියනේ ඔයාගේ ඇඟේ දුවන ලේ පාටම ඇති හිත් කීයක්නම් උතුරු පොළොව බදාගෙන හීන ගුලි කරගෙන ඇස් පියාගන්න ඇති ද?
උත්තර දෙන්න නිරෝමි........



