Saturday, October 17, 2015

රෝස වත හැඳි කත

      

                   සන්නිවේදන ගෝලීයකරණය වැඩිවිය පැමිණීමේ ප්‍රතිඵලයක් ලෙස සමාජගත වූ ප්‍රබලතම සමාජ වෙබ් අඩවිය facebook බව අවිවාදිත ය. "හොඳට නරක ට දෙකට කටම ය" යන්න "හොඳට නරක ට දෙක ට මුහුණු පොතම ය" කියන තරම ට ම facebook මේනියාව අද වනවිට ඔඩුදුවා ඇත. පොදු කාරණාවල හාරා ඇවිස්සීම ට දෙයක් නැති තැන අතිශය පෞද්ගලික කාරණා කවුරු හෝ කොහෙන් හෝ facebook wall එක මත වැපිරීම අදවනවිට සුලබ ය.                              මෑත කාලීනව facebook පුරා එක දෙවොල ට කියවුණ නම් හා සිදුවීම් අතර "සුජී" විශේෂ වුණේ රෝස වතක් හැඳි කතක විසින් අම්මා මෝ නැතිව ජංගම දුරකතනයෙන් "සුජී" ට බැන වැදීම හේතුකොට ගෙන ය. "ඇය කවුද?" "කාගේ කවු ද?" කවුරුත් ඒ ගැන දන්නවා ද ඒ ගැන?" එය ඔබවත් මා වත් නොදනී. නමුත් ඇය සිරි ලංකා සමාජයේ සමාජ කොට්ටාසයක එක ජනප්‍රිය චරිතයකි. මා හිතන හැටිය ට මේ වීඩියෝව ටිකක් පරණ ය. කල් ඉකුත් වෙලා ය. ඒත් මොන හේතුවක ට හෝ නැවත පරණ කුණු හාරා තලු මර මරා රස බැලීමේ ජුගුප්ත්සාජනක ආසාව, සිරි ලංකාවේ මිනිසුන් ට උරුම වී තිබේ.  රෝස වත හැඳි කත බැනවදින්නේ ඇගේ සැමියා ට වෙන්න ඇත. කතාවෙන් හැඟෙන්නේ එවැනි දෙයකි. ඇතැම්විට එය එසේ නොවන්නට ද පුළුවන.නමුත් අප "සුජී" ඇගේ සැමියා බව අනුමාන කරමු. තමා හුස්ම හිර කරගෙන පවසන දෙය නොතේරෙන සැමියා ට ඇය දන්නා උපරිම වචන ටික පිටකර බැනවදින්නේ හිතේ උපන් ආවේගයෙනි. ඔහු ට ඇය කියන ඉලක්කම් නොතේරේ. එක්කෝ එය අධ්‍යාපන මට්ටමේ අඩුපාඩුවක් විය හැකි ය. නැතිනම් සනිවේදන බාධකයකි. එසේත් නැතිනම් පවසන අංකවල අඩුපාඩුවකි. ඒ කෙසේවුව ද පිටරටක තනිවී පවුල නඩත්තුව ට මුදල් උපයන රෝස වත හැඳි කතක ට එය තේරුම් ගැනීම ට තරම් තේරුමක් නැත.පැය භාගයක් තිස්සේ 69 අගට ය. බිංදුවක් නැත යන්න තේරුම් කිරීම ට ගතවන බව කියවෙයි. ඒ අතරේ තව බොහෝ දේ ද කියවෙයි.                             බිල ගෙවාගෙන පවුලේ සමීපතමයන් නිදහසේ කතාබහ කිරීම ට ඇය ට මුදල් නැත. බැරිම තැන දරුවෙකු ට ජංගම දුරකතනය දෙන්න කියන්නේ එබැවිනි. නිමා නොවන දුරකතන සංවාදයේ දී බැරිම තැන ඇය අසන්නේ "........... කසිප්පු බීල ද?" ".......... කුඩු ගහල ද?" කියාය. නන්නාඳුනන රටක වෙසෙන බොහෝමයක් කාන්තාවන්ගේ හිත විමසන දෙය මෙයමය.  ඇගේ බිය, කෝපය, සැකය, ආවේගය ආදී සියලුම ඍණාත්මක චින්තනයෙන් තේරුම් ගැනීම ට මෙය ප්‍රමාණවත් ය. අදවන විට මේ වාක්‍ය කීපය ට remix එකකුත් සෑදී අවසන් ය. (නිර්මාණය යන වදන මේ සඳහා අනුචිත බැවින් එය නොයොදමි.) සභ්‍යත්වය ඇතැයි කියන සිරි ලංකාවේ සභ්‍යත්වය මෙය ද? රෝස වත හැඳි කත තවමත් මෙය නොදන්නවා විය හැක. දැනගත්තත් ඉන් ඇය ට වගේ වගක් නැත. ඇය ඇයගේ පවුල නඩත්තු කළ යුතු ය. කසිප්පු බොන හෝ නොබොන සැමියා ද ඇගේ කුසින් වැදූ දරුවන් ද තමන් උපයන මුදලින් පෝෂණය කළ යුතු ය. එහෙත් ඇය ද අම්මා කෙනෙකි. ගතේ රුහිර කිර ට පෙරා   දරුවන් ට පෙවූ, දැන් උපයන මුදල දහඩිය විලවුන්වලින් පොඟවා පවුල ට එවන ලඳකි. ඇය සුකුමාළ නැත. වදන් කටුක ය. නමුත් ඒ සියල්ල පසෙකින් තබා බැලූ විට ඇය තවත් මනුස්ස දුවකි. එය තඹේකටවත් මායිම් නොකර මිනිසෙකුගේ ගෞරවය කෙළෙසා fb upload කර නේක page adminවරු විසින් ඇගේ ප්‍රසිද්ධ වදන imagesවලට යොදා පළ කර ද අවසන් ය. එය පොදු කාරණයක් කොට සමාජගත කොට ඇගේ දහඩිය සිනාවට ලක් කිරීම ට තරම් සමාජය දුගඳය. ඇයගෙන් මෙය ට පිළිතුරක් නැත. අර කියනා වගේ ඇය නොදන්නවා විය හැක. දැනගත්තත් එයින් ඇය ට පලක් නැත.               මන්ද මේ ගැන වෙහෙසෙනවා ට වඩා ඇගේ පවුල ගැන සොයා බැලීම ඇය ට වටින නිසා ය. ඇය ට ගණනක් නැතිනම් නුඹ ට ඇති රුදාව කුමක් දැයි විමසන්න ට කට මැදන් බලන් ඉන්න අයත් නැතුවා නොවේ. ඔවුන්ගෙන් අසන්න ට දෙයක් ඇත. අගේ සමාජ මට්ටම හා තත්ත්වය අනුව ඇය නොසළකා හැරිය හැක. නමුත් ඔබ ට ඔබේ මව ට, ඔබේ මව ට මෙවැනිම දෙයක් වුණොත්???? 

x

Saturday, October 10, 2015

හිතුවිලි









එක එක දවසට එක එක ජාතියෙ මිනිස්සු හම්බවෙනවා. ඒ අතරින් මතකයේ රැඳෙන චරිතත් ඉන්නවා. අද. ඒ කියන්නෙ ඔක්තොම්බර් 10 වෙනිදා පානදුර railway station එකේ දී හම්බුණ මනුස්සයත් ඉන් එක්කෙනෙක්. කෝච්චියෙන් බැහැල පුරුදු විදියට තාත්තා එනකන් ටික වෙලාවක් ඉන්න වුණ.මට අඩි 10ක් 11ක් අතින් මැදි වයසේ මනුස්සයෙක් ඉන්නවා. ඉන්නේ මගේ පැත්ත බලාගෙන. තනියම කියවනවා. ඉතින් පිස්සෙක් කියල හිතෙන එක අහන්නත් දෙයක්ද?. අනික අද කාලෙ වෙන දේවල් ඇහුවම දැක්කම විශ්වාස කරන්න පුලුවන් කාවද? ප්‍රශ්න පත්තරයක් එක පාරට ඔලුවට ආව. මං ඒ මනුස්සය ට නොපෙනෙන්න ළඟ තිබ්බ කණුනවක ට මුවා වුණා.ටික වෙලාවකින් මගේ ළඟ තිබ්බ phone booth එකෙන් call එකක් ගත්ත ඒ මනුස්සයා මං පානදුරේ  ඉන්නෙ කියල හරි හැඬුම්බරව කිව්වා. එහා පැත්තෙන් මොන උත්තරයක් ලැබුණද කියල තේරුම් ගන්න අමාරුයි. මං කොහොමත් හිටියේ තාත්තා එන දිහා බලන්. ඒ අතරේ තව ගැනු ළමයෙක් මගේ ළඟ ඉඳන් "කෝච්චිය ගියා ළමයෝ. ඇත්ත කියන්නේ කිය කිය කාට හරි කියවනවා. අර මනුස්සයා ගැනු ළමයා ළඟට ආවා. ඇස් දෙකේ කඳුළු. අනේ නෝනා මට රුපියල් 10ක් දෙන්න බස් එකේ යන්න. ගෑනු ළමය අතේ තිබ්බ රුපියල් 10 දුන්න.  කාලත් නෑ නෝනා දවසෙම. වැඩ කරන තැනින් පඩි දෙන්නෙ නැ නෝනා. ආයෙත් ඒකම කියනව. ඒක ඇහුණ මාත් purse එක එළියට ගත්තා.. ඒ අතරේ අර ගැනු ළමයගේ boy friend ආවා. ඇයි මොකෝ? කාල නැලු. මනුස්සයව ඇහින් පෙන්නල ගෑනු ළමයා කිව්වා. තමුසෙට පිස්සුද ඕයි එක එකාට රැවටෙන්න?මෙන්න මෙහෙ එනවා කියලා ගෑනු ළමයව පැත්තකට අරන් ගියා.ඒ  මදිවට මටත් රැව්ව. තාත්තා ආවා. මාත් ගෙදර ආවා.

මම, ගෑනු ළමයා, ගෑනු ළමයගේ boy friend තුන් දෙනෙක්. තුන් දෙනා අර මනුස්සයා ගැන හිතුවේ තුන් විදියකින්. තාම ඒ මනුස්සයගෙ ඇස්වල කඳුලු ඇති. සමහරවිට බොරුවක් කලා වෙන්නත් ඇති. ඒ මොනවා වුණත් සමාජෙක ඉන්න මිනිස්සු විදියට අපි දකින දේ ගැන අපි හිතින් මවාගන්න ආකල්ප එකිනෙකට කොච්චර වෙනස් ද? වෙනස්කම් නැතිනම් සමාජයක විවිධත්වයක් ගැන හිතන්නත් අමාරුයි. ඒ ඒ කාලෙට එක එක්කෙනාට ලැබෙන අත්දැකීම් ඒ ඒ අයගේ හිතුවිලිවල ට බලපාන හැටි හරි පුදුමයි.

කතා ගොඩක් එකට...

#copied - https://chinthiblog.wordpress.com/2017/12/01/%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F-%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A-%E0%B6%91...